Thursday, June 1, 2023

cute girl with happiness

These are my simple pencil arts...I really like this kind of comics....

Art by Vandana

cute girl with happy smile - Vandana

cute chubby girl - Vandana

cute girl with happiness - Vandana

 

Saturday, August 14, 2021

96

 "ප්‍රථම ප්‍රේමය"  පාසල් ප්‍රේමයක් කියන්නෙ හුඟ දෙනෙක්ට මතක සැමරුම් ගොඩක් එක්කහු කරන මතක් කරද්දි මුණට හිනාවක් එන බොළඳ වැඩ වලින් පිරිච්චි ප්‍රේමයක්....


ආදරය කියන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා තෝරගන්නවත් බැරි වයසක ඒ සමහර හැඟීම් දැනෙද්දි කරන්නෙ මහ බොළඳ , මෝඩ වැඩ... ඒ කෙනාව තමන්ට දවසින් දවස විශේෂ වෙද්දි දාහක් ඇස් අස්සෙ උනත් ඒ ඇස් හොයද්දි , වටේ මොන දේවල් උනත් ඒ ඇස් මගනොඇර එක විනාඩියක් ඉන්න බැරිවෙද්දි.., එක දවසක් ඒ මූණ නොබලා ඉන්න බැරිකම හින්දම පැමිණීම 80% පන්නලා කප් ගහපු ආදරවන්තයෝ ඕනිතරං ඇති....එක දවසක් එයා ඉස්කෝලේ නෑවිදින් ඉන්නකොට හද්දා පාලුවක් තනිකමක් දැනෙනවා...එහෙම දවස් ගෙවෙන්නෙ පුදුම තරං හෙමීට... හුළං ගියපු බැලුම වගේ මූණත් නාලු කරං ඒ ගෙවපු  දවස්...ගෙදරින් පවා බැනුම් අහලා ඇති....


කන්න ගියත් ,නාන්න ගියත් , ටීවි බලන්න ගියත් ,නිදාගන්න ගියත් ඒ මූණම පේන කාලයක් තියෙනවා...එයාව දකිනකොට පපුව කිතිකැවිලා යන හැඟීමක් .., නිකමට හරි එයා ඇවිදගෙන තමන් ළඟට ආවොත් ඒ ළංවෙන අඩියෙන් අඩිය පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා...බැරිවෙලාවත් ලාවට වත් ඒ සුළැඟිල්ලක් ඇඟේ වැදුනොත් තිස්තුන්දාහෙ කරන්ට් එක ඇඟ හරහා ගියා වගේ ෂොක් එකක් , ඒ ස්පර්ශයම ඇති දවස් ගණං රෑ දවල් තැනක් නොතැනක් නැතුව ඇස් පියං හීන මවන්න...


"ආදරය" වචන වලට නොපෙරලා , ඇස් වලින් විතරක් ළං වුන ආදරවන්තයින් , කවදාවත් නොකියවුණු ඒත් කවමදාවත් නොමැකෙන පෙම් කතා මේ ලෝකෙ  තව ඕනිතරං ඇති....


අයිතියක් නැතුව කෙනෙක්ට ආදරේ කරන්නත් ලොකු හිතක් තියෙන්න ඕනි...කාලයක් තමං මුලු හිතින්ම අල්ලං හිටපු , අයිති කරගන්න පෙරුම් පුරපු අතක් තව කෙනෙක් අල්ලගෙන යනවා දකිද්දි ආදරේ කරපු හිතකට දැනෙන වේදනාව ගලපන්න මේ ලෝකෙ ශ්‍රේෂ්ඨම ලේඛකයටවත් බැරිවෙයි...ඒත් ඒ ආදරය කෙලවරක් වෙයිද...??  නෑ... මැරෙනකං ඒ ආදරේ ඒ වගේ හිතක් ඇතුලේ ජීවත් වෙනවා...


ඒ ඉස්කෝලේ , එයා ඉඳපු පංතියේ ඩෙස් පේලිය... ඇස් වලට නිවනක් නොදී ඒ ඇස් අස්සෙ හිරවෙලා  යාලුවො එක්ක පිස්සු නටපු හැම තැනක්ම ,හැම බිම් අඟලක්ම....එයාගෙ අතින් මගෑරිලා වැටුනු පුංචි කොල කෑල්ලක් පවා මතක සටහනක්...එයා වෙනුවෙන් ලියපු බොළඳ කවිපද....වයසින් කොයිතරම් පරිණත වුනත් මේ මතක එක්ක මොහොතකින් ආපහු ඒ කාලෙට යන්න පුළුවන්....ජීවිතේ හැම වැදගත් මොහොතකම , දරාගන්න බැරි දුකක් දැනුනු හැම මොහොතකම හිත බලාපොරොත්තු වෙන්නෙ කොහේහරි ඉඳලා එයා එයි කියලා...


ඒත් හරි පරිස්සමට ඒ මතක තමන් ළඟ තියං , ඒ කෙනා සතුටින් ජීවත් වෙනවා කියලා හිතාගෙන පාඩුවේ ජීවත් වෙද්දි එකපාරටම නොහිතපු විදියට අවුරුදු ගානකට පස්සෙ තමන්ගෙ ඇස් ඉස්සරහට ආවොත්.... තාමත් ඒ ඇස් වල පුරුදු ආදරේම ලියවිලා තිබුනොත්...එක පුංචිම පුංචි අතපසුවීමකින් ඒ ආදරේ අහිමි වුනේ කියලා දැනගන්න ලැබුනොත් .., ඒත්  ආපහු හැරෙන්න බැරි දුරක් ජීවිතේ ගෙවිලා ගිහින් කියන තිත්ත ඇත්ත විඳවගන්න ආදරේ කරපු හිත් දෙක්කට පුළුවන් වෙයිද......


අමතක කරන්න එපා...මේ හැබෑ ජීවිතය...ෆිල්ම් වල වගේ ප්‍රාතිහාර්‍යන් සිද්ද වෙන් නෑ....


බලන්න .... ❤️ 




Wednesday, March 3, 2021

අවසන් රාත්‍රී භෝජනය.

 

 මෙය "ලියනාඩෝ ඩාවින්චි" ( Leonardo da Vinci ) නම් සුප්‍රකට කලාකරුවා විසින් අඳින ලද සිතුවමකි...ක්‍රි:ව: 15 වන සියවසේදි පමණ ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie"  නම් දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත මෙය සිත්තම් කර ඇත....1495 දී  සිතුවම් කිරීම අරඹා 1498 දී නිම කරන ලදයි සැලකේ...අඩි 29 ක් දිග අඩි 13.5 ක් පළලින් යුතු මෙම චිත්‍රය පොළව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් ඇඳ ඇත...


*සිතුවමේ කතාව...


මෙම සිතුවමෙන් නිරූපණය වන්නෙ  ජේසුස් වහන්සේ තම ගෝලයන් 12 දෙනා සමග රාත්‍රී භෝජනය ගනිමින් සිටින අතර තුර, ඔවුන්ගෙන් කෙනෙකු තමන්ව නුදුරේදී පාවා දෙනු ඇතැයි යන්න ප්‍රකාශ කල මොහොතයි... ඒ අවස්ථාවේ ගෝලයින් 12 දෙනා තුළ සිදුවන වෙනස්කම් සහ ඔවුන්ගේ හැසිරීම්   සිතුවමෙන් ඉතා දක්ෂ ලෙස ඉස්මතු කර ඇත....පසු කාලීනව හමුවූ ඩාවින්සිගේ අත්පිට පතකට අනුව (The Notebooks of Leonardo da Vinci) මෙහි චරිත වෙන වෙනම හදුනා ගත හැකිවිය....

Bartholomew, James , Andrew , Judas, Peter, John ,Thomas, James, Philip ,Matthew, Thaddeus , Simon එම 12 දෙනාය...මොවුන් අතරින් පාවා දෙන්නා වූ Judas ගේ රුව අන් අයට වඩා අදුරු වන ලෙස චිත්‍රයට නගා ඇත...තමාගේ රහසිගත සැලසුම නොසිතූ ලෙස හෙලිවීම ගැන ඔහු පුදුමයට මෙන්ම වික්ෂිප්ත භාවයට පත් වූ බවක් නිරූපණය වේ...සමහරෙක් මහත් කෝපයට , කම්පනයට සහ කනගාටුවට පත්ව ඇති බවක් පෙන්නුම් කරන අතර  එක් පුද්ගලයෙක් ක්ලාන්තවන ආකාරයක් පෙන්නුම් කරයි..


*ශිල්පීය දක්ෂතා.


සම්මත ප්‍රෙස්කෝ ක්‍රමය සමඟ ටෙම්පරා (වියළි තලය මත චිත්‍ර ඇඳීම) හා තෙල් සායම් මාධ්‍ය මිශ්‍රව යෙදීම අත්හදා බැලීමක් වශයෙන් චිත්‍රයට වර්ණ යොදා ඇත... ක්‍රි.ව.1517 වන විට එනම් චිත්‍රය නිම වීමෙන් වසර විස්සකට පමණ පසු සිතුවම විනාශ වීමේ ලකුණු පහළ වී ඇත....

චිත්‍රයේ තලයට සමාන්තරව පිහිටි මේසය මත ගොණු වූ මානව රූප දහ තුනකින් යුක්ත වේ...මෙම පිරිස තිදෙනා බැගින් කාණ්ඩ හතරකට බෙදිය හැකි අතර මධ්‍යයේ වූ ක්‍රිස්තුස් වහන්සේගේ රූපය චිත්‍රයේ කේන්ද්‍රස්ථානය හිමි කර ගනියි....මානව රූප මෙසේ කාණ්ඩ ලෙස සිතුවම් වුවද චිත්‍රයේ ඒකාබද්ධතාව රැකෙන අයුරින් එය සිදු කර ඇත...තවද චිත්‍රයේ පසුබිමට එහි ප්‍රකාශන ගුණය තීව්‍ර වන සේ ඒක ලක්ෂීය පර්යාවලෝකනය භාවිත කර තිබේ...චිත්‍රය සෑහෙන ඉඩක් ශාලාවේ ඇතුළත දර්ශනය සඳහා යොදාගෙන ඇති අතර වියන්තලය සහ  බිත්තිය ආශ්‍රිත රේඛා චිත්‍රයේ පෙර බිම සිට ඈතට විහිදී යමින් ක්‍රිස්තූස් වහන්සේගේ හිස පිටුපසින් අවසාන වන අයුරින් චිත්‍රයේ මධ්‍යට සම්බන්ධ වෙයි...මෙම රේඛාවේ හැසිරීම නිසා චිත්‍රය නරඹන්නාගේ දෘෂ්ටිය නිරායාසයෙන් ම ගමන් කරන්නේ කේන්ද්‍රස්ථානයේ සිටින ක්‍රිස්තූස් වහන්සේ වෙතටය....

ශාලාවේ එක් පැත්තක ආලෝකමත් බව ද අනෙක් පැත්තේ අඳුරු බව ද දක්වා ඇත්තේ චිත්‍රයේ තේමාව අර්ථවත් කිරීමටය...එසේම පාවා දෙන ජුදාස්ගේ හා සෙසු පිරිසගේ මුහුණු හා ඉරියව් තුළ ඇති භාව ප්‍රකාශනය ශිල්පීය දක්ෂතා මැනවින් නිරූපණය කරයි...

අද වනවිට මුල් චිත්‍රයෙන් ඉතිරිව ඇත්තේ ඉතා කුඩා කොටසකි. අනෙක් සියලු තැන් විවිධ කාලවල ප්‍රතිසංස්කරණය කරන ලදි....



Friday, February 7, 2020

නිම්නාගේ ඉතිහාසය

නිම්නාගේ ඉතිහාසය......

කියවන අතරෙම හිතුනා ඒ ගැන පුංචි දෙයක් හරි ලියන්න ඕනි කියලා...ඒකට පළවෙනි හේතුව මේ පොත මගෙ අතට ආපු විදිය.... Hiniduma Sunil Senevi සර් තමයි මේ පොත අරං ඇවිත් පිටුවක් වත් පෙරලන්න පමා නොවී මගෙ අතට දුන්නේ., " ආ...මේ පොත මං ගත්තේ තමුන්ව මතක් වෙලා...." කියලා .. ඒ වචන ටික හිතට ඇති කරපු උණුහුමත් එක්ක පොත කියෙව්වෙ ගොඩක් ආසාවෙන්...එතකොට මේක ලියන්න හේතුවෙච්ච අනිත් කාරණාවම තමයි සර් මට මේ පොත ගෙනත් දෙන්න හේතුවත්....,මං මේ දවස්වල සිංහල නවකතාව පෙරළලා හොයන කෙනෙක් ඉන්නවා...

"රබීන්ද්‍රනාත් තාගෝර්ගෙ විශ්වීය පුරවැසියා"

අනාගතේ ලෝකයට අත්‍යවශ්‍යම ඒත් කවදාවත්ම බිහි නොවේවිය කියලා හිතන මේ විශ්වීය පුරවැසියා නිර්මාණය කිරීමේ නිහඬ ව්‍යාපාරය කරන්නෙ සාහිත්‍යය ඇතුලේ....ඒ කවියද , කෙටිකතාවද , නවකතාවද ,නාට්‍යද , සිනමාවද , සිතුවමද කියන එකේ වෙනසක් නෑ...
ලංකාව බ්‍රිතාන්‍ය විරෝධී "නිදහස් මහජන අරගලයකට" සුදානම් කරපු නිදහස් සටනේ පුරෝගාමීන් හදාගත්තු theme එක තමයි "සිංහල-බෞද්ධ" කියන්නෙ....ඇත්තටම ඒක මාර weapon එකක්....ජාත්‍යාලය , දේශප්‍රේමය වගේ ලස්සන නම් දීපු මේ weapon එක පාවිච්චි කරන කිසිම කෙනෙක් ඒකෙන් මැරුම් කන ජාති ද්‍රෝහීන් ගැන වැරදිලාවත් පසුතැවෙන් නෑ.... මේ අය ජාතිද්‍රෝහීන් වුනේ කිසිම වරදක් කරපු නිසා නෙවෙයි ...අර "සිංහල-බෞද්ධ" කියන theme එක නියෝජනය කරන්න අපොහොසත් වීම තමයි මරණ දණ්ඩනයට ලක්වීමට එකම හේතුව....අනාදිමත් කාලෙක ඉඳන් රජවරු තමන්ගෙ බලය පවත්වගෙන යන්න පාවිච්චි කරපු මේ theme එක උත්කර්ෂයට නැංවීමේ අනිටු ප්‍රතිඵලයට ලංකාව අවුරුදු ගාණක් ගොඳුරු වුනා....ඒත් තවමත් අර කියපු theme එක ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලු හෝද හෝද පාවිච්චි කරනවා....මේකට විරුද්ධව නැගිටින්න පුළුවන් වම විසින් පෙන්නලා දෙන  "සමානාත්මතාවට" කියලා කාලයක් හිතං උන්නත් නිම්නගෙ කතාව ඇතුලේ අරවින්ද අන්තිමට දෙයක් තේරුම් ගන්නවා...

"....මං හිතන්නෙ සමානාත්මතාවට වඩා මිනිස්සු ආස නිදහසට නිමී..."(පි:665)

අවුරුදු 25කට කලින් සමාජවාදී නැගෙනහිර ජර්මානුවෝ වෙඩි කාගෙන ධනවාදී බටහිර ජර්මනියට පැනලා යන්න දක්වපු අසීමාන්තික උමතු ආශාව කුමක් වෙනුවෙන්ද කියලා  ,ලංකාවේ සමානාත්මතාව ගොඩනගාගන්න ජීවිතේ කැපකරපු අමරට හුස්ම නවතින අන්තිම තප්පරේවත් තේරුම්ගන්න බැරි වුනත්, ඒ පාරේම ආපු ඊළඟ පරම්පරාව නියෝජනය කරපු අරවින්ද වටහාගන්නෙ ඇත්තටම "නිදහස" අත්විඳීම තුළ...ඒ අත්විඳීම සයිමන්ලා මිලී නෝනලාගේ තුළිනුත් දකින්න  පුළුවන් ...

"අපි හොඳ බුද්දාගංකාරයෝ මහත්තයෝ. මං ඉතිං ඉස්පාසුවක් තියෙන හැම විඩේකම පන්සල් පල්ලි යන ගෑනි..මුසාවක් නං පන්සලේ හාංදුරුවන්ගෙනුයි ඔය පල්ලියේ පාදිලි උන්නාසේගෙනුයි අහලා බලතැහැකි...."

"එක මනුස්සයෙකුට තියෙන්නෙ එක ආගමයි බොල.."
කොහොමටත් එක ආගමක් කියන එක ඒ වෙනකොට ඉරක් එක හඳක්  වාගේ පැහැදිලිව පේන්න තිබුනු දෙයක්...."(පි:96,97)


සයිමන්ලාගෙ ,මිලිනෝනලාගේ ලෝකය තුළ තිබූ නිදහසේ විචිත්‍රත්වය වර්තමානය වෙනකොට දියවෙලා යන්නෙ ඒ විදියට ....

ධනවාදයට හෝ සමාජවාදයට ගොඩනැගිය නොහැකි සොබාදහමේ රිද්මය ,තරඟය සහ හඹායාම උත්කර්ෂයට නොනංවපු පුද්ගල ඇතුලු මනස විශ්වීය නියමයක් කරා ගෙනයන කතිකාවක් තාගෝර් තමන්ගෙ නිර්මාණ වලින් ගේනවා..මගේ හිතෙ විශ්වීය පුරවැසියා එක විදියක ෆැන්ටසියක් වෙන්නෙ එහෙමයි...ඇකඩමික් සීමාවල් අස්සෙ මං "සිංහල නවකතාව" ඇතුලේ විතරක් කරක් ගහද්දී තමයි මට මේ නිම්නව මුණගැහෙන්නෙ....

කෞශල්‍යගේ නිම්නා , අරවින්ද සහ පණ්ඩුක චරිත ත්‍රිත්වය ඇතුලේ මං තාගෝර්ගේ බිමාලා* දකිනවා..."හින්දු නොවන අනෙකා" යන ජාතිකවාදී තේමාව මුල් කරගත් සාමූහික විඥානයක් තුළ ගාන්ධි රැස් කළ ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් "බිමාලා" චරිතයෙන් තාගෝර් නිරූපණය කරතිබූ අතර බිමාලා හරහා ඔහු මෙම ජාතිකවාදයේ සුන්දර වෙස්මුණූ ගලවා එහි ව්‍යවසනකාරී භයානක ස්වරූපය වෙසෙසින් දක්වා ඇත...තාගෝර්ගේ එම කාර්යභාරය කෞශල්‍යගේ ඉහත චරිත තුන තුළින් ඉටු කර ඇති බව මගෙ පිළිගැනීමයි.....යුද්දයක් කවදාවත් දිනන්න බෑ ඉවර කරන්න විතරයි පුළුවන් ඒ වගේම ලෝකයට විමුක්තිය ලැබිය හැක්කේ කොමියුනිට්ස්වාදය ඔස්සෙ විතරයි  කියලා හිතලා දේශපාලනයේ යෙදෙන අරවින්ද...., පොලිටික්ස් කියන්නෙ හරිම බෝරින් ටොපික් එකක් කියලා මගාරින ඒත් යුද්දයට , සොල්දාදුවන්ට සුබ පතන තවත් වෙලාවක ජාතිය ආගම දිහැ උදාසීනව බලන නිම්නා...,සිංහල -බෞද්ධ කියන theme එක අපේ රටේ ප්‍රෞඩත්වය කියලා හිතන ඒ මතයට එරෙහි වෙන හැමඑකාම එන්ජීඕ ඩොලර්ස් වලට කහින් දේශද්‍රෝහි කාක්කෝ කියලා හිතන් තමන් නොදැනම ප්‍රබල දේශපාලන මතයක රූකඩයක් අතකොලුවක් වෙච්ච පණ්ඩුක ..., මොවුන් මේ නියෝජනය කරන්නෙ වර්තමානයේ ලංකාවේ සමාජය නොවේද.....පවතින ජාතිකවාදී දේශපාලන ප්‍රවාහයට හසුව ගසාගෙන යන පණ්ඩුකලා..., ඒ ප්‍රවාහයේම උඩුගං බලා පිහිනමින් විකල්ප දේශපාලන ක්‍රමයක් තුළින් "නිදහස" සොයනා අරවින්දලා..ඔය කොයිකටත් , කිසිදු හඬක් නැතිව මේ ප්‍රවාහය ඔස්සේ වල්මත්ව හැසිරෙන නිම්නලා මේ අප අවට සමාජයේම යථාර්ථවාදී නිරූපණයක් ලෙසින් කෞශල්‍ය අපූරුවට ගලපා ඇත..

ජාතිකවාදය මෙපමණට විචිත්‍ර සහ ආකර්ෂණීය වෙන්නෙ ඒකෙන් මිනිසුන්ට තමන් දැනටමත් ජීවත් වන විදිය නිවැරදිම විදිය කියලා හිතාගන්න අනුබල ලැබීම හින්දා .මේ හේතුව හින්දා ජාතිකවාදයෙන් , උණුසුම් දේශප්‍රේමයෙන් මිනිසුන්ව මුදවගන්න අමාරුයි..තමන් එයින් මිදීම වගේම තවත් කෙනෙක්ව මුදවගන්න යෑමෙන් වෙන්නෙ ඒ සමාජය ඇතුලේ තමන් හුදකලා වීම..

හුදකලා ලෙස මේ ජාතිකවාදය ප්‍රතික්ෂේප කරමින් තම සාහිත්‍යකරණය තුළින් තාගෝර් වර්ධනය කරන්නට තැත් කළ විඥානය අපි හඳුනගන්න ඕනි මෙතනදියි..ඔහු විශ්වීය පුරවැසියා කියලා හැඳින්වුයේ සියලු සමාජ සංස්කෘතීන් පිළිබඳ විචාරාත්මක අවබෝධයෙන් සෙසු මානව විශිෂ්ටතාවන් හඳුනා ගැනීමේ බුද්ධිමය හැකියාව සහිත පුද්ගලයාටයි...ඒ බුද්ධිමය අවබෝධය කෞශල්‍ය තුළ තිබෙන හින්දයි ඔහුගේ පරිකල්පනයක් විදියට නිම්නාගෙ ඉතිහාසය අපි අතට එන්නේ..

කෞශල්‍යගේ මේ සාහිත්‍යම කාර්‍යභාර්‍ය මං ඉහලින්ම අගය කරන්න එක හේතුවක් තමයි, කිසියම් අදහසක් දැරීම සහ විශ්වාස කිරීම හින්දා ජීවිතෙන් වන්දි ගෙවපු මිනිස්සුන්ගෙ ලේ ගෑවිච්ච ජාතකවාදී බලපරාක්‍රමයක් ඇතුලේ , මේවගෙ මාතෘකාවක් තමන්ගෙ නිර්මාණයක් ඇතුලේ කතාකරපු එක..අනික් හේතුව තමයි ඒ කතාව මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියලා තිබීම...

"ඕගොල්ලො තමයි අරවින්ද ප්‍රභූ.ඕගොල්ලො කතා කරන දේවල් තේරෙන්නෙ කීයෙන් කීදෙනාටද.ඔයා ඔය ලියන දේවල් නිර්ධන පන්තියට කියවලා තේරුංගන්න පුළුවන් ද? අපි කියන දේවල් හැමෝටම තේරෙනවා.ඉස්සරත් තේරුනා.අපි දේශපාලනය කරන්නෙ පොදු ජනතාව එක්ක.එහෙම නැතුව දාර්ශනිකයො එක්ක නෙමේ.."(පි;638)

කලක් වාමාංශික දේශපාලනය තුළ ක්‍රියාකාරි සේවයක් ඉටුකළ , පසුව රාජ්‍යවිරෝධීන් ලෙස හංවඩු ගැසී ජීවිතය පවා අවධානමට ලක්වූ ,  දැන් පවතින පොදුජන ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන සේනක පවසන ඒ වදන් වලින්ම වැටහෙනවා ජාතිකවාදී දේශපාලනය ඔවුන් සමාජගත කරන ආකාරය..සාමාන්‍ය ජනතාව ආමන්ත්‍රණය කළයුතු භාෂාව "සිංහල-බෞද්ධ" රෙජීමය හොඳාකාරවම දැන සිටි බවට සාක්ෂි 2005 සිට ඕනෑවටත් වඩා දැකගත හැකිය..ලංකාවේ ජාතිකවාදයේ සුරාන්තය මිනිසුන් අත් වින්ඳේ 2009 මැයි 18 වන දා...ජනාධිපතිවරයා ගුවන් යානයෙන් බැස මහ පොළොව සිපගැනීම , පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම කියා වේදිකා මත ඝර්ජනා කිරීම , ආයුබෝවේවා මහරජාණනි යන මැයෙන්  රෝමෝද්ගමනය වන තරම් අභිමානයක් කැටිවු නිර්මාණයන් හරහා ඔවුන් ගොඩනගාගත් ලක්ෂ සංඛ්‍යාත ජන සමූහය විසින් තවමත් මහ පවුරක් ලෙස ලංකාවේ දේශපාලනය තුළ මේ රෙජීමය රැකගනු ලබයි..

"89 හිටපු යක්ෂයොන්ට සමනල්ලු වෙන්න පුළුවන් නං 2009 හිටපු යක්ෂයන්ට බැරි ඇයි? 89 හිටපු යක්ෂයෝ වටේ 2000න් පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට සංවිධානය වෙන්න පුළුවන් නං 2009 හිටපු යක්ෂයා වටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර සංවිධානය වෙන්න බැරි ඇයි..? "(පි:613,614)

මේ මහා ජාතිකවාදී ජන බලවේගයේ ආවේගය පණ්ඩුකගේ චරිතයෙන් හරි අපූරුවට දකින්න පුළුවන්.."අපි යක්කු බොලව්"  "මහසොහොන් බලකාය" "බොදු බල සේනා" "ජාතියේ සතුරන් වනසමු" එකී මෙකී නොකී මුහුණු අතරේ " යක්ෂ සේනාපති" වන පණ්ඩුක ගරා යක් මුහුණින් සිංහ කොඩිය සහ බෞද්ධ කොඩිය දෙපස දරා සයිබර් අවකාශය තුළ ගෙනයන නිහීන අරගලය තුළින් තම ජීවිතයේ හිස් ඉඩ පුරවා ගනී...මගෙ මේ ලියමනට යටින් පවා  "රටට වින කරන පරට්ටියෝ" වැනි බුහුමන් ඇතුලත් කමෙන්ට්ස් දමන්නට ඉඩ ඇති පණ්ඩුකලා අවසානයේ නවතින්නෙ මීළඟ ජාතිවාදී සංහාරය නිර්මාණය කරය..

"බයවෙන්න එපා පණ්ඩුක උඹල අපිට ඉස්සරහටත් ඩොලර් හොයන්න චාන්ස් එකක් හදලා දෙයි මුස්ලිම් මිනිස්සුන්ව අන්තවාදයට තල්ලු කරලා.."

"ඒක හින්දා තමයි යකෝ අපි කියන්නෙ හම්බයන්ට නටන්න දෙන්න එපා කියලා..මොකක්ද උඹට සිංහලයො එක්ක තියන මේ තරහ...උඹලට පේන්නෙ එක්කො කොටින්ට නැත්තං හම්බයන්ට වෙච්ච අසාධාරණේ..යකෝ සිංහල රටේ සිංහලයන්ට වෙන දේවල් උඹලට පේන් නැද්ද..හම්බයෝ අපේ ජාතිය වඳ කරලා මේක මුස්ලිම් රටක් වෙච්ච දවසට උඹලා කරයි මියුසිකල් ෂෝස්(පි :615)"

සිංහල බෞද්ධයා රැකීම සහ උත්කර්ෂයට නැගීම ඇතුලේ ඊට සමගාමීව සිංහල බෞද්ධ නොවන අනෙකා ප්‍රතික්ෂේප කිරීම යළි මහා ජන සංහාරයකට අතවැනීමක් බව කෞශල්‍ය කියන මේ කාරණය අවබෝධ කරගැනීම පා‍ඨකයා සතු කාර්‍යයකි..මේ නවකතාව ඇතුලේ ඔහු පරම්පරා කීපයක් ඔස්සෙ කතාකරන ප්‍රධාන තේමාවන් දෙකෙන් එකක් විතරයි මං මේකෙදි කතාකලේ...දේශපාලනය සහ ලිංගිකත්වය..සමස්ථයක් විදියට හිතුවොත් මේ දෙකත් වෙනම කතාකරන්න බැරි තරමට මිනිසා කියන සත්වයා එක්ක එකට බැඳිච්ච කාරණා දෙකක්..අරවින්ද අන්තිමට අඳුනගත්තු අර "නිදහස" ඇතුලේ ලංකාවේ මිනිස්සුන්ට කාලෙකදි තිබිලා නැතිවුන "ලිංගික නිදහස" වගේම වර්ග බේදයකින් තොරව සමස්ත සමාජයම කෙරේ විචාර බුද්ධියකින් යුතුව ජීවත් විය හැකි "නිදහස් විශ්වීය පුරවැසියෙක්" නිර්මාණය වෙන්නෙ තාගෝර් පෙන්නලා දුන්නු සර්වභෞමික ලෝකයේ විතරයි...මේක ෆැන්ටසියක් තමයි , හරියට අර "බබෙල් කොත" වගේ...බෙදීම් වර්ගවාදය සහ ජාතිකවාදයෙන් තොරවු මනුෂ්‍ය විවිධත්වය තුල මිනිසුන් ගොඩනගාගත් ස්වර්ගයට යන කුලුණ....මං ඒකෙන් දකින්නෙ "විශ්වීය සමාජයක්"

*Ghare Baire(1916)" තාගෝර් රචනා කරපු විශිෂ්ටතම නවකතාවක්..ආනන්ද අමරසිරි අතින් එය සිංහල භාෂාවට පරිවර්තනය වෙනවා "බිමාලා" නමින්...ඉංග්‍රීසි පරිවර්තනය "The Home and the World(1919: සුරේන්ද්‍රනාත් තාගෝර්)"...1984 දී සත්‍යජිත් රායි විසින් මෙය සිනමාවට නගන ලදි...

-ඉෂුනි සුලෝචනා වීරසිංහ-


Sunday, December 15, 2019

කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ...

2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව

සුදු අධිරාජ්යවාදීන්ගේ රබර් වැවිල්ලෙන් ඇරඹෙන කතාව සාදිරිස් නම් කොලු ගැටයකු වටා ගෙතී අපූරැවට දිව යයි....මව් අහිමි පිය සෙනෙහසින් දුරස්වූ සාදිරිස් තම පුංචි අම්මාගෙන්ද සහනයක් නොලැබීය...මව්ගේ මරණින් පසු තම පියා හා දීඝ කෑ මව්ගේ නැඟෙනිය වූ පුංචි අම්මාට වහ වැටුණු ගමේ චණ්ඩියාවූ ගවරාගෙන්ද සාදිරිස්ට නිවනක් නොවීය...ඔහුට තිබි එකම සැනසුම වූයේ තමන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු මැගිලින් අක්කාගේ සෙනහස, ආදරය පමණි...දිනෙක සාදිරිස්ගේ ඉවසීමේ සීමාව අවසන් විය....ගවරාට ජීවිත කාලයටම පාඩමක් උගන්වා ගමෙන් පැන ගිය ඔහු නතර වූයේ තන්ඩලේගේ පාරැවේය..එතැන් පටන් දිවෙන සාදිරිස්ගේ අන්දරය ත්රාසය,භීතිය,කුතුහලය හා ප්‍රේමයෙන් සන්නද්ධව දිගටම ගලා යන්නේ කළු ගඟටත් වඩා වේගයෙනි...විටෙක චණ්ඩ වී ඉවුරැ පොඩි කරමින් ගලා ගිය එය තවත් වරෙක ඉවුරටත් නොදැනී ගලා බසිනා පුංචි දිය පාරක් වුණි...

පරම්පරා ගණනක් පුරා පැවත එන වෛරයක් සමඟම වස්තුවකට ඇති තණ්හාව නිසා නැතිවන මිනිස් ජීවිත වලින් අපට ගෙන එන පාඩම තණ්හාවේ ආදිනව කියාපාන කැඩපතක් පරිද්දෙන් මුළු කතාව පුරාම දිස්නේ දෙයි....

එසේම විදේශීය ආක්‍රමණත් සමඟම රටේ ඇතිවූ දේශපාලනික, ආර්ථික හා සංසකෘතික පරිණාමය කෘතියෙන් නිරූපිතය...

චිත්ත රෑප මවමින් බාහිර පරිසරය වර්ණනා කිරිම , සාදිරිස්ගෙ චරිතයේ  කියවන්නා ජීවත් කරවීමටත් ඒ ඒ පුද්ගලයන්ව හොඳින් හඳුනා ගැනීමටත් නෝබට් අයගමගේ සූරීන් සමත්ව තිබුණේ ඉතාමත්ම විශිෂ්ට අයුරිනි....පරිසර වර්ණනයේදීත්, ලෙන්ගතුකම් උද්වහනය වන අයුරින් වර්ණනයේ යෙදීම අයගමගේ සතු දක්ෂතාවකි...

සාදිරිස්ගේ ප්‍රේමය කාන්තාවන් දෙදෙනෙකු කෙරේ පතල ආත්මීය බැඳීමකි...සිසිලියානාගේ ප්‍රේමය දෝතලු මලකි...ඔවුන් වියපත් වුනද ඔවුන්ගේ ප්‍රේමය කිසිදා වියපත් නොවන බව කියමින් කතාව අවසන් වේ...ඔහුගේ පතිනියගෙ ප්‍රේමයේ සංකේතය බෝ කොලයකට ය...සැලී නෝනා හා සිසිලියානා සාදිරිස්ගේ සංසාරගත පාරුවේ හබල් දෙකය...ජීවිතයේ පළමු ආකර්ෂණය, ඒ ඔස්සේ උපදින පේ‍්‍රමය තමන්ට නොගැළපෙන උස්-පහත්  ඇති-නැති පරතරය මත යටපත් වීමත්.., පවුලක් පන්සලක් වී පිළිවෙලක්වීමේ සම්ප‍්‍රදායික අදහස් සමඟ විවාහයට එළඹීම , දරුමල්ලන් හැදීම  තම අණසකට යටත් සම්ප‍්‍රදායික බිරිඳක්වීම සැලී නෝනාගෙ පේ‍්‍රමයේ ආරම්භය හා අන්තය නිරූපණය කරයි....

කතාව ගලායන්නේ කළු ගඟ කේන්ද්‍ර කරගෙනය....මුල සිට අගට විරාමයක් නොතබා එක හුස්මට කියවීමට තරම්  පෙළඹවීමක් කතාවේ පරිච්ඡේදයක් පාසාම ගැබ් වී ඇත...

Beauty of the Sabaragamuwa University of Sri Lanka


ෆැන්ටසි හීන










මං මේක කියන්නේ ඔයාට ..,

තිස්සෙම හිතට දැනෙන ඒත් මග හරින හැඟීමක් තියෙනවා ... මිරිඟුවකට ලොබ බඳින හිත හති වැටේවි කියන බය...ඒ ලොබකමින් දිය පොදක් වත් නොබී මිරිඟුව පස්සෙම දුවනවා...ෆැන්ටසිය දිගේ ඔහේ ඉවක් බවක් නැතිව හීන හොයනවා...බැඳෙනවා...විඳිනවා....නැලැවෙනවා... එක මොහොතක දඩාස් ගාලා ඒ ෆැන්ටසියෙන් විසිවෙනවා..... ඒ ආඩම්බරකම ,අහංකාරකම දිහා බලං හිත හූල්ලනවා.....ෆැන්ටසි හීන නැතුව හුස්ම ගන්න බැරි හිත රියැලිටිය අස්සෙ පණ අදිනවා.....ඇස් පියාගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා... අමුතු පෙම ආයිම ජීවිතය දෙනවා.. කියව ගන්න බැරි නොතේරෙන හිතක ප්‍රේමය මියැදෙන හිතට හුස්ම පිඹිනවා...හීන ආයෙම පැලවෙනවා...මං හිමිහිට ඒ හිත මත්තේ වැතිරෙනවා...ඇස් නොහැරම මං ආයේ හුස්ම ගන්නවා...ෆැන්ටසිය ඇතුලේ මං හිරවෙනවා.....,ආයිමත් එළියට විසි වෙනකම්..., මිරිඟුවට මං පෙම් කරනවා..🌼🌼🌼

-වන්දනා-

නුඹය හිත මත දඟකර ආදරය මන බැන්ඳූ.

Pencil drawing - vandana 

Monday, August 12, 2019

මේ නගරය අලුත් වෙලා- ගී මිහිර

මේ නගරය අලුත් වෙලා
වැව් දිය ‍රැළි ගිලන් වෙලා...
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
ප‍ටු මාවත් පුළුල් වෙලා...

එදා අප දු‍ටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්...
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්...

පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු...
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු...

ගේය පද රචනය සහ ගීතයේ ස්වර රචනය මාධව හේවාවසම්ගෙනි....ගායනය ටී.එම්.ජයරත්නයන්ගේ ලයාන්විත හඬිනි....

බොහෝ ප්‍රේම වෘතාන්තයන් හි , විශේෂයෙන් පාසල් ප්‍රේමයක මිහිර අතපත ගෑ ප්‍රේමවන්තයින්ට සුවිශේෂි මතක සටහන් ඉතිරි වේ....පාසල් ප්‍රේමය වූ කලී වැඩිහිටි වියේදි සිහි වන විට දෙතොලතර මදහසක් නැගෙන තරමට බොළඳය..එමෙන්ම නැවුම් ය....ජීවයෙන් පිරිපුන්‍ ය...ඇයගෙ හෝ ඔහුගෙ ප්‍රථම අතැඟිලි ස්පර්ශය පවා සිත තුළ තදින්ම තැන්පත් වී පවතී...ඒ මතකයන් හා බැඳුණු මං මාවත් , බස් නැවතුම්පොළ , ගහ කොල , ගොඩනැගිලි , නගරය , හිඳ වුන් බංකුව පවා ඒ අතීත ස්මරණයන්හි ජීවමාන සාක්ෂින් ය....

ප්‍රේමය ජය ගත්තෝ ඔවුනොවුන් අත ගෙන යලි ඒ මං මාවත් වල ඇවිද යන්නේ පෙර මතක අතර සැනහෙමිනි....ප්‍රේමයෙන් පරාජිත වූවෝ ඒ මතක හා බැඳුණු භෞතික පරිසරය කෙරේ බැඳෙන්නෙ ප්‍රේමයේ විරහව දරාගනු  නොහැකිවය....මේ කෙසේ නමුදු  පෙම් කළ වුන් ඔවුනොවුන්ගෙ මතක හා බැඳුණු භෞතික පරිසරයට ඇලුම් කරති....

මේ ගීය පුරා දිවෙන්නෙ එක්තරා වයස්ගත පෙම් යුවලක් පෙර ඔවුන් අත් පටලන් ඇවිද ගිය මාවතක ඇවිද යමින් තම අතීතය ස්මරණය කරන අයුරුය...එකළ ඔවුන් බෙහෙවින් පෙම් කළ ඒ පරිසරය අද සැබැවින්ම අලුත් ය...බොහෝ වෙනස් ය...

මේ නගරය අලුත් වෙලා
වැව් දිය ‍රැළි ගිලන් වෙලා...
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
ප‍ටු මාවත් පුළුල් වෙලා...

ඒ වෙනස ඒතරම් සුවදායක වෙනසක් නොවන බව හැඟේ...එකළ වැව් දියෙන් සිසිල් වු පරිසරය ඔවුන්ගේ ප්‍රේමයට නිසැකවම ආශිර්වාදයක් වන්නට ඇත...අතිනත ගෙන ඔවුනොවුන් තුරුලත  පැටලෙමින් ඇවිද ගිය පටු මාවත අද පුළුල් ය...ජනාකීර්ණ තද බදයෙන් පිරුණු මහා මාවතක අද්දර ප්‍රේමය හරියට මෑත පෙනෙනා දිය සිඳුනු වැව් තලය වගේය..තව දුරටත් එය රැළි නොනගනු ඇත....

එදා අප දු‍ටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්...
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්...

සියලු භෞතික වස්තූන් සේම ජීවිතය ද නොනැවති ගලායන ප්‍රවාහයකට ගොඳුරු වෙමින් වෙනස් වන අයුරු ., කෙමෙන් වියැකී යන අයුරු  පද කිහිපයකින් නිරූපණය කිරීමම අපූරුය...එදා අතිනත් පටලාන පෙම් කළ අය.., ඔවුන් හා එක්ව අකුරු කළ කෙළි දෙලෙන් කල් ගෙවූ අය දැන් ජීවිතයේ සැදෑ සමය ගෙවයි...ඔවුන්ගේ ජීවිත ප්‍රේමයෙන් , විවාහයෙන් , දරුවන්ගෙන් , යුතුකම් සහ වගකීම් යන රැහැන් පටවල් වලින් බැඳී ඇත...ඇතැමෙක් මෙලොව බැඳි ඒ රැහැන් පටින් මිදී නිදහස් මනසකින් යුක්තව පරලොව සුවය පතා පිං දහම් වල නියැලෙති...එදා සැහැල්ලුවෙන් ඇවිද ගිය පෙම්වතුන් අද ජීවිතයේ සියලු බර දරා ඒ මාවතෙහිම ගමන් යති....

පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු...
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු...


මෙහි පද පෙළ ගෙතෙන්නෙ ඒ අතීතය වර්තමානය කෙරෙහි සංසන්දනය වන ආකාරයෙනි...පරම්පරා දෙකක් අතර ප්‍රේමයේ විෂමතාව .., අපූර්වයෙන් දක්වා ඇත...එදා ප්‍රේමය සුන්දරය... නැවුම් ය... ඒ ප්‍රේමය ඔවුන්ට දායාද කලේ මේ නගරය ය...මේ ගහ කොල ය...මේ ඇළ දොළය... මිනිසුන් තුළ තිබූ සරල අව්‍යාජ ජීවන ශෛලිය තුළ අසීමිත අවශ්‍යතා එකල නොතිබුණි...අහසට මහ පොළොවට ගහ කොළට පවා මිලක් නියම වද්දී තරඟකාරී මනසක් නිතැතින්ම මිනිසාට හිමි වද්දී ප්‍රේමයද සහන මිලට අඳුරු කුටි වල විකිණෙන අයුරු රචකයා මාවත අද්දරටම වී බලා හිඳී... එදා පෙම් කළ වුන්ගේ මතක වැව් දිය , ගහකොළ , මං මාවත් වල වියැකෙද්දී මෙදා යෞවන ප්‍රේමය අඳුරු කුටි තුළ පන අදියි....රචකයා එහි වරද පටවන්නෙ ප්‍රේමවන්තයින්ට නොව....ඔවුන්ව එසේ සිර කර දැමූ සභ්‍යත්වයේ රෙදිපිළි හැඳගත් අශ්ශීල ඊනියා සංස්කෘතියටය ...කෙදිනක හෝ ඔවුන්ට සිහි කරන්නට විඳින්නට ඇත්තේ ප්‍රේමයේ සොඳුරු මතකයන් ද , නැතහොත් කිලිටි වූ සයනයක රැළි අතර අකාලයේ සැඟව ගිය ප්‍රේමයක අසුන්දර මතකයන්ද....අවසානය ඔබ සතුය...කාලය හෝ මේ වේගයෙන් ගලායන සමාජ ප්‍රවාහය හෝ අපට කිසිදා නතර කළ නොහැක...එසේම වෙනස් කළ නොහැක...නොනවත්වා අපි මතකයන් එක් කරගනිමින් හිඳින්නෙමු......තව බොහෝ දේ වෙනස් වීමට නියමිතය........

වන්දනා ..

Pencil Drawing_Vandana

My Drawing_Pencil_Vandana 

Tuesday, July 23, 2019

ගී මිහිර-ආදර මල් වල

ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා

තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනව
අඳුර මැදින් එන්න සදලියේ

දේදුණු සායම දෑසම බොද කර

මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙට වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා

ගායනය-කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ

කෝට් ගණනක් වියදම් කරමින් බිහිවෙන ඉලොට්‍රොනික ගායකයින් සහ රිගින් ටෝන් පසුපස හබායන බාල බොලඳ ගායකයින් තම ලාභ ඉපැයීමට මගක් ලෙස පමණක් ගීතය දකිනා අවකාශයක බිහිවු අව්‍යාජමය රැඩිකල් හඬ පෞරුෂ යුගලය - කසුන් සමග ඉන්ද්‍රචාපා  "ආදර මල් වල පාට කියන්නට" ... සාම්මානීය ගේය පද රචකයකු වන වසන්ත කුමාර කොබවකයන්ගේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචනයෙන්ද හැඩ වූ මෙම ගීතයේ ස්වර රචනය නවරත්න බණ්ඩාරයන්ගෙනි....

ආදරය , ප්‍රේමය  යනු කුමක්ද..? එක් තැනෙක කරුණාරත්න දිවුල්ගනේ මහතා කියනවා "ආදරය සුන්දර වරදකි" කියලා ... චන්දන ලියනාරච්චි මහත්මයා කියනවා
 "ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති...
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසිකෙනෙකු නැති..." කියලා .. ඇත්තටම ප්‍රේමය හමු වූවෝ , ප්‍රේමය හැඳිනගත්තෝ ඇත්තෙම නැතිද..? එය පැනයකි...ප්‍රේමය වූ කලි මලක් නම් එහි පැහැය දකින්නෝ සැබෑ ප්‍රේමවන්තයින් ය..ගීතය තුළ සැඟව සිටිනා මේ ප්‍රේමවන්තයා ආදරයේ පැහැය දැක විඳගත්තෙකි...ඔහු ඇරයුම් කරන්නෙ ඒ පාට දකින්නටය...ඔහුට අවැසි ඔහු දුටු ඒ ආදරයේ පැහැය තම සිත් ගත් ඇයට පෙන්වීමටය....

"ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා"

මීදුම් සළු එතුණු සීතල හිමිදිරියක පළමු හිරු කැල්මට මලක පෙති දිග හැරෙත්ම ඒ මලෙහි පැහැය දකින්නට බැරිය...මීදුම් පිණි පොදින් වසන් කළ මල් පැහැය දකින සමනලුන් මලට ඇදෙති....ඇය කෙරේ ඇති වූ ප්‍රේමයත් ,එහි පැහැයත් අපූර්වාකාරයෙන් විඳින ප්‍රේමවන්තයා සමනලයෙකුට උපමා කිරීමෙ වරදක් නැත...පිණි බිඳු වලින් හැඩකල මල් පෙති ඒ ඇහැරවන්නේ ඔහුගේ පෙම් සිහිනයයි....

"දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනව
අඳුර මැදින් එන්න සදලියේ.."

ඉතිං මේ ප්‍රේමවන්තයා පැමිණෙන තුරු ඇය මඟ බලා හිඳින්නීය...දේදුණු රේඛා දිලෙන්නෙ සප්ත වර්ණයෙනි...ඈ නේක වර්ණයෙන් දිලෙමින් මේ මඟ බලා නෙත් අයා හිඳින්නේ මේ ප්‍රේමයේ හිමිදිරියේ ඔහු මීදුම් සළු සුළඟක තවරා වෙනතක යවා තමා වෙනුවෙන් පැමිණේයැයි සිතාය...ළං කරගත නොහැකි දුරක හිඳිනා ඇය වෙනුවෙන් උපන් පෙම් හැඟුම් ඈත දුරක සඟවා තැබුවත් ඔහුටත් හොරෙන් ඔහුගේ සිත ඒ දුර ඈතටම පියමං කරයි...ඉතිං  ඔහු ඇරයුම් කරන්නෙ රෑ අඳුරේ සිහිනයක දැවටී හෝ ඇයට එන්නටයැයි කියාය...

"දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා.."

තම හදවත දැඩිව ඇද බැඳගත් ඈ වෙනුවෙන් මැවූ සප්ත වර්ණයෙන්ම හැඩ වූ ඒ සිහිනයන් ..., ඈ ගැන උපන් පැතුමන් ඈ නැති සොවින් ඔහුගේ දෑස් බොඳකරමින් ගලා යයි...කඳුලු වැල් ලෙසින් ගලා හැලෙනා ඔහුගේ ප්‍රේමයේ පැහැය හැලෙන්නෙ ඉද්ද මල් යායකටය....මොහොතකට සිතන්න මෙ පද ගෙත්තම කොයිතරම් නං අපූරුද යන්න ඔබට හැඟේවී...තමා බෙහෙවින් ආදරය කරන පුද්ගලයා ළඟින් නොමැති විට අප තුළ ඇතිවන ශෝකි හැඟීමම මෙහි රචකයා වචන වලට ගොනු කර ඇති ආකාරය....ඈ නොමැතිව ඔහුගෙ හිත සීතලෙන් මිදී ගිය හිම කඳු යායකි.... ඒ මතින් ඇවිද තම ප්‍රේමිය සිහිනයෙන් ඔහු වෙත පැමිණෙයි...ඔහු ඈ අමතන්නෙ "දෙව්ලිය" කියාය... මෙලොව යුවතියකට ලද හැකි අසීමාන්තික සන්තුෂ්ටිය නම් තමන් ඔහුට "දෙවඟනක" වීමය.....නැතිනම් මෙපමණට ආදරයේ ඉවුරු ස්පර්ශ කරනා  ආදරබර ප්‍රේමවන්තයෙකු ලැබීමය...

ඇතැම් තැනෙක මෙම ගීතය සමලිංගික ප්‍රේමයක් ගැන කියවෙන ගීයකැයි පවසා ඇත .. ඒ එකිනෙකාගෙ පරිකාල්පනික ශක්‍යතාව මත තීරණය වන්නකි...වචනාර්ථය පමණක් ගුරු කොටගෙන මෙපමණ සොඳුරු කාව්‍යමය ප්‍රේමණීය ආඛ්‍යානයකට එවන් තේමාවක් සැපයීම සැබැවින්ම අසීරුය....මොහොතකට දෑස් පියාගෙන ගීතය රස විඳින්න... ඔබට දැනේවි ඔහු හෝ ඇය ළඟ නොමැති විට ඔබට දැනෙන ප්‍රේමණීය හිස් බව.....



Pencil drawing of eyes

හැමදාම හවසට උඹව ගිණි තියන හාදුවක් නොවරදින මගේ ඇස්...
My painting [Vandana]

Sunday, June 9, 2019

Ground-Sabaragamuwa University ❤️



රුසියන් සාහිත්‍ය ..



රුසියාවේ මහා පීටර් රජුගේ (1682-1725) රාජ්‍යත්වයෙන් පසුව එතෙක් ආගමෙහි දැඩි බලපෑමෙන් අඩපණව තිබූ සාහිත්‍ය ප්‍රවර්ධනය නැවත ප්‍රාණවත් ව නැගී සිටී...එම රජු විසින් සිදු කල භාෂා  ප්‍රතිසංස්කරණ හරහා නව රුසියන් සාහිත්‍යක් බිහි වීමට මග පෑදිණි...පූජක පක්ෂට මගින් භාවිතා කළ සංකීර්ණ රුසියන් බස ඉවත දමා සරල රුසියන් බසක් නිර්මාණය වේ...එතෙක් මළ බසක් මෙන් තිබූ රුසියන් බස  නව්‍යාකාරයෙන් හැඩ ගැසෙමින් සාහිත්‍ය නිර්මාණයන් සඳහා දායක වීම ආරම්භ විය...එතෙක් පැවති ජනකතා සාහිත්‍ය අබිබවා ගිය ලේඛන කලාවක් රුසියාව තුළ නිර්මාණය වන්නෙ ප්‍රංශ , ජර්මන් ආභාෂය මතය...

නමුත් 2වන කැතරින් රැජිනගේ (1762-1796) රාජාණ්ඩු පාලනය තුළ තම අනන්‍යතාව පළ කල හැකි ආකාරයේ නිර්මාණ බිහි වීමට බොහෝ බාධක තිබුනව විප්ලවවාදී අදහස් වලින් පිරුනු ලේඛකයින් පිරිසක් විසින් රුසියන් සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය නිර්මාණය වේ...

* මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්..(1799-1837)






කාව්‍ය , කෙටිකතා ,නවකතා ,නාට්‍ය ,සුරංගනා කතන්දර ආදී විවිධ ශානරයන්ගෙන් ලේඛනයේ යෙදුණු මොහුගේ නිර්මාණ ඉතා විශාල ගණනකි...

* නිකොලොයි ගොගොල්..(1809-1852)

විප්ලවවාදී ලේඛකයෙකි...ඔහුගේ උපහාසාත්මක කතා එකල බොහෝ ජනප්‍රසාදයට හා විචාරකයන්ගෙ අගය කිරීම් වලට ලක් විය..."හිම කබාය- The over coat (1842) අතීශයින්ම ප්‍රසිද්ධියට පත් වූ කෘතියකි...

ගොගොල්ගේ යුගය නිමා වත්ම ක්‍රමයෙන් රුසියානු සාහිත්‍ය අඳුර කරා ගමන් කළ අතර බොහෝ පොත් පත් පවා තහනමට ලක් විය...ඉන්පසුව යළි රුසියන් සාහිත්‍යට නව යුගයක් උදා වන්නෙ 2වන ඇලෙක්සැන්ඩර් රජ (1855-1881) සමයේ දීය...මේ යුගයේදී රැඩිකල් සහ විප්ලවවාදී අදහස් බොහෝමයක් රුසියාව පුරා ව්‍යාප්ත වූයේ ධනවත් වංශවත් පවුල් වලින් බිහි වූ නිර්මාණශීලි උගතුන් හරහාය...මේ යුගයේ ශ්‍රේෂ්ඨ ලේඛකයින් ලෙස..,

* ෆියදෝර් දොස්තොව්ස්කි.(1821-1881)

මොහු විශ්ව සාහිත්‍ය තුළ මනෝ චිකිත්සකයෙක් ලෙස හැඳින්වීමේ වරදක් නොවන්නෙ බොහෝ විට මොහුගේ ලේඛනයට වස්තු විෂය වූයේ මානසික රෝගීන් හා අපරාධකරුවන් වීමය...මොහුගේ "අපරාධය හා දඬුවම(1866)"  ඔහු ලියූ ශ්‍රේෂ්ඨතම කෘතිය වශයෙන් හැඳින්විය හැකිය...

* ලියෝ ටොල්ස්ටෝයි ..(1828-1910)

වංශවත් පවුලක ඉපදී අවිංහිසාව හා පීඩිත රුසියානු ජන ජීවිතය යථාර්ථවාදීව අකුරු කළ විශිෂ්ට ලේඛකයෙකි...

මොහුගේ අග්‍රගණ්‍යම කෘති 2 ලෙස " යුද්ධය හා සාමය (1869) සහ ඇනා කැරනිනා (1878) " හැඳින්විය හැකිය...

* ඉවාන් ටර්ගිනිව් (1818-1883)

මොහුගේ විචිත්‍රවත් භාෂා ශෛලිය දෙවැනි වන්නෙ ගොගොල්ට පමණක් බව කියවේ..19වන සියවසේ බිහි වූ විශිෂ්ටතම කෘතිය වන " Fathers and Sons (1862) " මොහුගේ නිර්මාණයකි...

* ඇන්ටන් චෙකොව් .(1860-1904)

වෘත්තිය වශයෙනි වෛරක්කාරයෙකු වන මොහු රුසියන් සාහිත්‍ය තුළ අනූපමේය යුග මෙහෙවරක් කළ ලේඛකයෙකි..රුසියන් නාට්‍ය කලාවේ හා කෙටිකතා කලාවේ නූතනවාදී ප්‍රගමනයන්ගේ ගෞරවය ඔහුට හිමි විය යුතුය..මොහුගේ "The lady with the Dog (1899) " ලොව විශිෂ්ටතම කෙටිකතාව ලෙසද විචාරකයන් හඳුන්වයි...

* මැක්සිම් ගෝර්කි (1868-1936)

සමාජවාදී යථාර්ථවාදය ලේබනය තුළින් ඉදිරිපත් කළ පළමු රුසියන් ලේඛකයාය...මොහුගෙන් රුසියන් සාහිත්‍යට සහ විශ්ව සාහිත්‍යට සිදුවූ සේවය කොතරම් ද යත් පස් වරක් නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ විය..

ගෝර්කිගේ " The Mother (1906) " කෘතිය නොකිය වූ ලේඛකයෙක් ලොව කෙසේවත් සිටිය නොහැකි තරමට එය ප්‍රසිද්ධ කෘතියකි...

තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි..

Tuesday, May 28, 2019

පෙම තවම මල්වරයි..












ලං කරන් .....
ඇස් පියන්.....
නොවිඳී පෙම සුන්දරයි.......

ඇස් වලින් .....
බැල්මකින් .....
සීරෙනා හිත කලබලයි .......

එක් නොවුණු .....
සිත් බිඳුණු ......
පෙම තවම මල්වරයි ......

-වන්දනා-

Saturday, May 18, 2019

Tuesday, April 30, 2019

මං උඹට ආදරෙයි කියන්නෙම...,

My drawing [vandana]


මං උඹට ආදරෙයි කියන්නෙම..,

උඹ ඔන්ලයින් නැතිවෙනකොට
මගෙ පපුව රිදෙන එකට....

පැල් බැඳගෙන උඹ මට සැර වෙනකොට..,
ඇස් නොපියා උඹෙ මූණ දිහා
බලන් ඉන්න හිතෙන එකට.....

උඹ බඩගින්නේ කියලා දැන දැනම
කන්න ගත්තු බත් කට..,
උගුරෙ හිරවෙන එකට.....

කොයි කොහොම උන්නත්
උඹෙ පපුව මැද්දෙන් එන දාඩිය මුහුවෙච්චි පුසුඹට
මගෙ හිත නිවෙන එකට....

ආඩම්බරකාර උඹෙ ඇස් වලට විතරක් උනත්
මොහොතකට.,
මගෙ ගෑණු හිතම අවුස්සන්න පුලුවන් එකට....

අයිති නැති වගක් නිතරෝම කියවලා
ඔච්චමට උඹ  හිනාවෙද්දි.,
ඇස් වලට මගෙ කඳුලු උනන එකට......

මං කොච්චර නං ඇඬුවත්
උඹෙ පුංචි දුකකට උනත් මං
වෛර කරන එකට.....

උඹ මොන විදියකට වෙනස් උනත්
හැමදාම මගෙ ඇස් වලට
උඹව ලස්සනට පේන එකට....
වෙන එකෙක්ගෙ ලස්සනක් දැන්
මට නොපෙනෙන එකට....

කවදාකහරි අතෑරෙන වග
සත්ත කර උඹ කියවද්දි ..,
තප්පරේකට වත්
දුර යන්න බැරි තරම්
උඹ මත්තෙ නැහෙන එකට....

තනිකම හිතට කොයිතරම් වද දුන්නත්
වෙන කෙනෙක් ළඟට යන්න
හිතක් නැති එකට.....

ඇත්තටම මං උඹට ආදරෙයි කියන්නේ
මට උඹව නැතුව බැරි එකට.....

-වන්දනා-

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

cute girl with happiness

These are my simple pencil arts...I really like this kind of comics.... Art by Vandana cute girl with happy smile - Vandana cute chubby girl...